ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තෙවැනි සහ අවසන් විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද (11) රාත්‍රී 7:00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරග ත්‍රිත්වයකින් සමන්විත මෙම තරගාවලියේදී මේ වන විට පාකිස්ථාන කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථානය සමත් වූ අතර, දෙවන තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මෙම තීරණාත්මක තරගය අද පැවැත්වෙන අතර, තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය වනු ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැදගත් නිවේදනයක් නිකුත් කර ඇත. වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු දෙවන විස්සයි20 තරගය සඳහා ප්‍රවේශපත් මිලදී ගත් සියලුම ප්‍රේක්ෂකයින්ට අද පැවැත්වෙන තෙවැනි තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට කටයුතු කර ඇත. ඒ සඳහා, දෙවන තරගයට අදාළව මිලදී ගත් ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කිරීමෙන් නව ප්‍රවේශපත්‍රයක් ලබා ගත හැකි බව දන්වා ඇත. මෙම නව ප්‍රවේශපත්‍ර අද පස්වරු 5:00 දක්වා දඹුල්ල ක්‍රීඩාංගණයේ ප්‍රවේශපත් කවුළුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇත.