සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ඊයේ (09) ලකුණු 101ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මෙම තරගය කටක්හිදී පැවැත්විණි. පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පන්දුවාර 12යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 74ක් පමණි. මෙය විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී දකුණු අප්‍රිකානු කණ්ඩායමක් වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකේ. මීට පෙර ඔවුන් 2022 වසරේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 87කට දැවී ගොස් තිබුණි. පස් තරගයකින් සමන්විත මෙම පන්දුවාර 20 තරගාවලියේ එකට බිංදුවක් ලෙස ඉන්දියාව මේ වනවිට ඉදිරියෙන් පසුවන අතර, තරගාවලියේ ඉදිරි ක්‍රියාකාරීත්වය පිළිබඳ ක්‍රිකට් රසිකයන් බලා සිටිති.