ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පිහිටි සත් මහල් කාර්යාල ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයන් 22 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දහවල් ආරම්භ වූ මෙම ගින්න, පළමු මහලේ බැටරියක් පුපුරා යාමෙන් පසුව ඉහළට පැතිර ගොස් ඇති බවට පොලීසිය විශ්වාස කරයි. ගින්නට හසු වූ ගොඩනැගිල්ලේ ඩ්‍රෝන යානා නිෂ්පාදන සමාගමක් පිහිටා තිබූ අතර, මියගිය බොහෝ දෙනා කාන්තාවන් බවත්, ඔවුන් බොහෝවිට දුමෙන් හුස්ම හිරවීමෙන් මිය යන්නට ඇති බවත් එරට පොලීසිය පවසයි. මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා ඇති අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් තවදුරටත් ගොඩනැගිල්ල තුල සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.