ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් 2026 වසරේ පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ. මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් නියමිත කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමයි.

කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ, විධිමත් යෝජනාවක් නියමිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ පැවති දෝෂ සහගත බව මෙන්ම, කාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස්වීමේ අවාසි වැනි කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹුණු බවයි. මෙවැනි තත්වයක් තුළ ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක කිරීම පාරිභෝගිකයින්ට අවාසිදායක විය හැකි බවට කොමිසම පෙන්වා දෙයි.

2026 ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා වන ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වසරේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස, කොමිෂන් සභාව විසින් එම වසරේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවිමට දන්වා තිබුණි. කෙසේ වෙතත්, ලංවිම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඉකුත් දෙසැම්බර් 29 වැනි දින වන විටය.

එම ප්‍රමාද වී ඉදිරිපත් කළ යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන්, නිවැරදි කරන ලද යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව ඉකුත් 5 වැනි දින ලංවිමට දැනුම් දුන්නේය. නමුත්, නිවැරදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවිම විසින් ඉකුත් 8 වැනි දින කොමිෂන් සභාවට දන්වා තිබේ. මේ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව, 2026 පළමු කාර්තුව සඳහා විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.