ගාල්ල නගරයට සහ අවට ප්‍රදේශ රැසකට අද දහවල් පැය දෙකක පමණ කාලයක් ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයක් සහ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් දෛනික ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
මෙම ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් විශේෂයෙන්ම පාසල් ළමයින් දැඩි අපහසුතාවයකට පත්වූ අතර, කරාපිටිය රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණි ජනතාවද දැඩි පීඩාවට පත්ව සිටියහ. නගරයේ සහ අවට ප්‍රදේශ රැසක ජනජීවිතයද මේ හේතුවෙන් අඩාල විය.
පැය දෙකක පමණ කාලයක් පුරා ඇද හැලුණු මෙම වර්ෂාවෙන් පසු පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව ලෙස ජනතාව පෙන්වා දෙන්නේ නිසි පරිදි ජලය බැස යාමේ කාණු පද්ධති නොමැතිවීමයි. බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ජනතාව වැඩිදුරටත් අවධාරණය කර සිටී.