ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය (NBRO) විසින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අද දහවල් 12.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය ඉදිරි පැය 24ක කාලයක් සඳහා වලංගු වනු ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයෙහි, හාලි ඇල, බදුල්ල, පස්සර, ලුණුගල, වැලිමඩ සහ මීගහකිවුල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් පනවා ඇති අතර, කන්දකැටිය ප්‍රදේශයට දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

නුවර දිස්ත්‍රික්කයෙහි දොළුව ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද, උඩුදුම්බර ප්‍රදේශයට තුන්වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළයට පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, විල්ගමුව ප්‍රදේශයට දෙවන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් පවතී.

තවද, මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් වී ඇති අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ මතුරට ප්‍රදේශ සඳහා දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් පවතී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශ සඳහා තුන්වන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් ද ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.මෙම අනතුරු ඇඟවීම් හමුවේ, අදාළ ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් විසින් දැනුම් දී සිටී.