අද දුරුතු පුර පසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු, ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස දුරුතු පොහොය දිනය බෞද්ධ ජනතාව අතර මහත් ගෞරවයෙන් සැලකේ.

ශාසන ඉතිහාසයට අනුව, බුදුරජාණන් වහන්සේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහෝ දිනකදී ලංකාවට, එනම් මහියංගනයට වැඩම කළ සේක. එහිදී උන්වහන්සේ යක්ෂයන් දමනය කර, ඔවුන්ට ධර්මය දේශනා කර ඇත. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරම්භය සනිටුහන් කරන ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීමට අනුව, උන්වහන්සේ කේශ ධාතූන් මිටක් ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම කේශ ධාතූන් තැන්පත් කර සුමන සමන් දෙවියන් විසින් මහියංගන මහා සෑය ඉදි කරන ලදී. එය ලංකාවේ ප්‍රථම චෛත්‍යය ලෙස සැලකේ.

මීට අමතරව, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම, එමෙන්ම බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීම වැනි තවත් ඓතිහාසික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ද දුරුතු පොහෝ දිනයේ සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ..