දකුණු ඉන්දීය සුපිරි තරුවක් වන විජේ (Thalapathy Vijay) රංගනයෙන් දායක වන 'ජන නායගන්' (Jana Nayagan) චිත්‍රපටයට එරෙහිව පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම චිත්‍රපටය සඳහා වාරණ සහතිකය ලබා දීමට මදුරාසි මහාධිකරණයේ තනි විනිසුරුවරයෙකු ලබා දුන් නියෝගය අත්හිටුවීමට එම අධිකරණයේම ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මීට පෙර පියවර ගෙන තිබුණි. චිත්‍රපට නිෂ්පාදකයින් එම තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියද, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ මෙම ගැටලුව නැවත මදුරාසි මහාධිකරණයේම ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග කළ යුතු බවයි.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පෙත්සම විභාග කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ලබන ජනවාරි 20 වැනිදා මදුරාසි මහාධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස නිෂ්පාදකයන්ට නියෝග කර තිබේ.

විජේ දේශපාලනයට පිවිසීමට පෙර රඟපෑ අවසන් චිත්‍රපටය ලෙස සැලකෙන 'ජන නායගන්', ජනවාරි 9 වැනිදා තිරගත කිරීමට සැලසුම් කර තිබුණද, ඉන්දීය චිත්‍රපට වාරණ මණ්ඩලය (CBFC) මෙතෙක් සහතිකයක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් එය ප්‍රමාද වී ඇත.

චිත්‍රපටයේ අන්තර්ගත ඇතැම් දර්ශන මගින් ආගමික හැඟීම්වලට හානි වන බවට සහ සන්නද්ධ හමුදාවන් වැරදි ලෙස නිරූපණය වන බවට චෝදනා එල්ල වී තිබීම මෙම ප්‍රමාදයට ප්‍රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් චිත්‍රපටය නැවත සමාලෝචන කමිටුවක් වෙත යොමු කිරීමට වාරණ මණ්ඩලය තීරණය කර ඇත.

චිත්‍රපටය ප්‍රමාද වීම නිසා තමන්ට විශාල මූල්‍ය අලාභයක් සිදු වී ඇති බවත්, පූර්ව ප්‍රචාරණ කටයුතු සියල්ල නිෂ්ඵල වී ඇති බවත්, නිෂ්පාදක සමාගම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මුකුල් රොහට්ගි අධිකරණයට දන්වා සිටියේය.

H. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ක්‍රියාදාම චිත්‍රපටය පිළිබඳව තීරණය කෙරෙන මීළඟ අධිකරණ විභාගය ජනවාරි 20 වැනිදා මදුරාසි මහාධිකරණයේදී පැවැත්වීමට නියමිතයි.