ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) දින උතුරු පළාතේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය තෛපොංගල් සැමරුම්, ජාතික නිවාස ව්‍යාපෘතියක සමාරම්භය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ඇතුළු බහුවිධ වැඩසටහන් මාලාවකින් සමන්විත විය.
තෛපොංගල් උත්සවය වෙනුවෙන්, යාපනය, වේලනෙයි, අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේ පැවති උතුරු පළාත් තෛපොංගල් ප්‍රධාන උත්සවයට ජනාධිපතිවරයා සහභාගී විය. එමෙන්ම, සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කර ගනිමින් යාපනය සංචාරක මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ තවත් තෛපොංගල් උත්සවයක් සඳහාද ජනාධිපතිවරයා මනිපායි මරුතඩි විනායහර් කෝවිලේදී එක් විය.
මෙම සංචාරය අතරතුර, ‘තමන්ගේම තැනක් - ලස්සන ජිවිතයක්’ යන තේමාව යටතේ රට පුරා නව නිවාස 31,218ක් ඉදිකිරීමේ දැවැන්ත වැඩසටහනේ සමාරම්භක උත්සවයද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩසටහන මගින් යුද්ධය හේතුවෙන් තවමත් නිවාස අහිමිව සිටින උතුරු සහ නැගෙනහිර පළාත්වල පවුල් 2,500ක් ඇතුළු විශාල පිරිසකට නව නිවාස හිමි වීමට නියමිතය. මෙම සමාරම්භක උත්සවය යාපනය, චාවකච්චේරිය, වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තවද, විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී ආරම්භ විය. මෙම වැඩසටහන මගින් මත්ද්‍රව්‍ය නිවාරණය සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් රජයේ කැපවීම යළි තහවුරු කෙරිණි. ජනාධිපතිවරයාගේ මෙම උතුරු පළාත් සංචාරය, සංස්කෘතික සමගිය, සංවර්ධනය සහ සමාජ සුබසාධනය ඉලක්ක කරගත් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.