බෙංගාල බොක්කේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (දින) පෙරවරු 4.00ට පමණ වන විට මෙම පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබිණි. එය වයඹ දෙසට ගමන් කරමින් පීඩන අවපාතයක් දක්වා දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා මෙය ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ උතුරු අර්ධයේ අහස වළාකුළින් බරව පවතිනු ඇත. උතුරු පළාතටත්, පුත්තලම, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් පවතී. මීට අමතරව, කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සුළං තත්ත්වයද අවධානයට ලක් වී තිබේ.
උතුරු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් 50-60ත් අතර තරමක තද සුළං ඇති වන අතර, ඇතැම් අවස්ථාවලදී එය පැයට කිලෝමීටර් 70 දක්වා ප්‍රහාරාත්මක සුළං ලෙස වර්ධනය විය හැකිය. වයඹ පළාතේත්, මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං අපේක්ෂා කෙරේ. මහජනතාවට සහ විශේෂයෙන්ම ධීවර ප්‍රජාවට මෙම කාලගුණික තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.