දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් කල්දමන ලද 2025 වසරේ උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස අද ආරම්භ වීමට නියමිතය. විභාගය අද සිට ලබන 20 වැනිදා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2086 කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.

විභාග අපේක්ෂකයින්ට නියමිත වේලාවට පැයකට පෙර තම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් දැනුම් දෙයි. මේ අතර, සුළි කුණාටුව හේතුවෙන් නිල ඇඳුම් විනාශ වූ විභාග අපේක්ෂකයින්ට කිසිදු ගැටළුවකින් තොරව පහසු ඇඳුමකින් විභාගයට පෙනී සිටීමට අවසර ලබා දී ඇත.

මුලින් 2025 නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 5 වැනිදා අවසන්වීමට නියමිතව තිබූ මෙම උසස් පෙළ විභාගය, දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑම සැලකිල්ලට ගනිමින් කල්දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබුණි.