ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව අතර හෘද සැත්කම් සිදුකිරීමේ ප්‍රවණතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව උරස් හා උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්, හෘද උරස් විශේෂඥ වෛද්‍ය නාලක දිසානායක මහතා පවසයි. මෙම තත්ත්වය මීට පෙර අවුරුදු 60-70 අතර වැඩිහිටි පිරිස් අතර බහුලව දක්නට ලැබුණද, වර්තමානයේ අවුරුදු 25-30 අතර තරුණයින් විශාල සංඛ්‍යාවක් හෘද සැත්කම් සඳහා යොමුවීම විශේෂත්වයකි. වෛද්‍ය දිසානායක මහතා මෙම කරුණු අනාවරණය කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදීය.

ලෝකයේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් හෘදය වස්තුව ආශ්‍රිත රෝග, විශේෂයෙන්ම කිරීටක ධමනි අවහිරතා හේතුවෙන් සිදුවන බව වෛද්‍ය දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සංකීර්ණ කිරීටක ධමනි අවහිරතා සඳහා මූලික විසඳුම වන්නේ “බයිපාස් සැත්කම්” හෙවත් කිරීටක ධමනි බද්ධ කිරීම් බව ඔහු පැහැදිලි කළේය. මෙම සැත්කම් ශ්‍රී ලංකාවේ සුලබ වුවද, පසුගිය කාලය තුළ බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව, විශේෂයෙන්ම තරුණ රෝගීන්ගේ ප්‍රවණතාවය විශාල ලෙස වර්ධනය වී තිබේ.

මෙම තත්ත්වයට බලපාන හේතු ලෙස ජානමය තත්ත්වයන්, කාන්තා හා පිරිමි ශරීරවල හෝමෝන වර්ගවල වෙනස්කම් මෙන්ම ජීවන තත්ත්වයේ වෙනස්කම්ද වෛද්‍යවරයා පෙන්වා දෙයි. පිරිමි පුද්ගලයන්ට කාන්තාවන්ට වඩා හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රෝගීන් සංඛ්‍යාවෙහි වර්ධනය හේතුවෙන් ශල්‍යකර්ම සඳහා දිගු පොරොත්තු ලේඛන ඇති වී ඇති බවත්, ශ්‍රී ලංකාවේ ශල්‍යකර්ම සිදුකිරීමේ හැකියාව සීමිත බවත් වෛද්‍ය නාලක දිසානායක මහතා අවධාරණය කළේය. එබැවින්, මෙවැනි රෝගී තත්ත්වයන් වැළැක්වීම සඳහා පියවර ගැනීම අතිශයින්ම වැදගත් බව ඔහුගේ අදහස විය.