2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. ඒ පකිස්ථානය සමග පැවති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 14කින් ජය ගනිමිනි. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවති තරග ත්‍රිත්වයෙන් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රමාද විය. 

කාසියේ වාසිය දිනූ පකිස්ථාන නායක සල්මන් අඝා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කළේය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් රැස් කළේය. අනතුරුව පිටියට පිවිසි නායක දසුන් ශානක පන්දු 9කින් වේගවත් ලකුණු 34ක් වාර්තා කළේ හයේ පහර 5ක්ද සමඟිනි. 

ජනිත් ලියනගේ පන්දු 8කින් නොදැවී ලකුණු 22ක් රැස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 6කට ලකුණු 160ක් ලබා ගත්තේය. ලකුණු 161ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 12 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක සල්මන් අඝා ලකුණු 45ක් රැස් කළද, සෙසු පිතිකරුවන් හත් දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි වීම ඔවුන්ට විශාල අවාසියක් විය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. මෙම දස්කම සමඟින් ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 150 සීමාව පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඔහු ඉතිහාසයට එක් විය. එසේම, ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ කඩුලු 150 සීමාව පසු කළ ලොව පස්වැනි ක්‍රීඩකයා ලෙසද වනිදු හසරංග වාර්තා පොත් අතරට එක් විය. මෙම තරගය ලකුණු 14කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව දෙරට අතර පැවති තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.