ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත 2026 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතය එරට තේරීම් කමිටුව විසින් නිවේදනය කර තිබේ. සුපුරුදු පරිදි ඒඩන් මාක්‍රම් කණ්ඩායමේ නායකත්වය දරනු ඇති අතර, මෙම සංචිතයට නවක මුහුණු රැසක් ඇතුළත් වී තිබීම විශේෂත්වයකි.

නවක ක්‍රීඩකයින් හත් දෙනෙකුට මෙවර සිය ප්‍රථම ලෝක කුසලාන වරම් හිමි වී තිබේ. ඩෙවල්ඩ් බ්‍රෙවිස්, ක්වේනා මෆාකා සහ ඩොනොවන් ෆෙරේරා ඇතුළු මෙම නවකයන් කණ්ඩායමට නව ජවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ආබාධයක් හේතුවෙන් ඉන්දියාව සමග පැවති තරගාවලියක් අහිමි වූ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා නැවතත් කණ්ඩායමට එක්ව සිටීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇත. මීට අමතරව, කෝබින් බොෂ්, ටෝනි ද සෝර්සි, ජේසන් ස්මිත් සහ ජෝර්ජ් ලින්ඩේ ද මෙම ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ.

ලබන මාසයේදී ආරම්භ වීමට නියමිත මෙම දැවැන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන කණ්ඩායම් අතරින් දකුණු අප්‍රිකාව ද ප්‍රබල අභියෝගකරුවෙකු ලෙස සැලකේ.