කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනට බලපාන කාලගුණ තත්ත්වය පිළිබඳව නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලට මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ වේ.

සෙසු ප්‍රදේශවලට පස්වරුවේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කෙරේ.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැඩි ලෙස දැනුම් දෙයි. අවදානම් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.