වයඹ පළාත් සභාවේ සේවකයින් සිය දිනක වැටුප ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග කර තිබේ. මෙය ජාතික සංවර්ධන මෙහෙවරට දායකත්වය දැක්වීම සඳහා රාජ්‍ය සේවකයින්ගේ කැපවීම විදහා දක්වන වැදගත් පියවරකි.
ඒ අනුව, වයඹ පළාත් සභා සේවකයින් විසින් රුපියල් 12,249,222ක (එක් කෝටි විසිදෙලක්ෂ නව දහස් දෙසිය විසිදෙකක) මුදලක් පරිත්‍යාග කර ඇති අතර, මෙම මුදල ඔවුන්ගේ එක් දිනක වැටුපට සමාන වේ. මෙම පරිත්‍යාගය මගින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබාදීම අපේක්ෂා කෙරේ.
පරිත්‍යාගයට අදාළ චෙක්පත ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වූයේ වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වසන්ත ගුණසේකර මහතා විසිනි. මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
එම අවස්ථාවට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. එම්. එම්. එස්. ඒකනායක, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්. පී. කුමාරසිංහ, වයඹ පළාත් සභාවේ ගණකාධිකාරි අනුපමා අබේසිංහ, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක, ප්‍රජා සංවර්ධන නිලධාරි අජන්තා වීරසේකර යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.