නීති විරෝධි මූල්‍ය ආයතන හා මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

විමර්ශනයට ලක්වන පැමිණිලි අතර පිරමිඩ වංචා ක්‍රම ඔස්සේ මුදල් වංචා කිරීම්, නීති විරෝධි ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම් සම්බන්ධ සිද්ධීන් ද වේ. මෙවැනි ක්‍රියා මගින් සමාජයේ විශාල පිරිසකට ආර්ථික හානි සිදුවන බව පොලිසිය අවධාරණය කරයි.

තවද, මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 40 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන් ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වේ. මෙම පුද්ගලයින් නීති විරෝධී ක්‍රම මගින් අත්පත් කරගත් දේපළවල වටිනාකම තක්සේරු කරමින් පවතින බව සඳහන් වේ.නීති විරෝධි ක්‍රම මගින් උපයා ගත් මෙම සියලු දේපළ ඉදිරියේදී රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.