කොළඹ, ශ්‍රී ලංකාව – නවතම ලෝක මේසපන්දු ශ්‍රේණිගතකිරීම් වලට අනුව, ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් එක් කරමින්, වයස අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩයේ ලොව පළමු ස්ථානය හිමිකර ගැනීමට ටාවි සමරවීර නම් දක්ෂ ක්‍රීඩකයා සමත් වී තිබේ. තවමත් 10 හැවිරිදි වියේ පසුවන ටාවි, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ 5 වැනි වසරේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකි. ගෙවී ගිය වසර තුළ, මෙම තරුණ ක්‍රීඩකයා ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලි දාහතරකට (14) සහභාගී වී ඇත. එහිදී ඔහු රන් පදක්කමක්, රිදී පදක්කම් පහක් (5) සහ ලෝකඩ පදක්කම් හතරක් (4) දිනා ගනිමින් ශ්‍රේණිගත ලකුණු දෙසීයකට (200) හිමිකම් කියයි. 

සෙසු තරගාවලි හතරෙන් දෙකකදීද ඔහු අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වීම ඔහුගේ දක්ෂතාවන්ට සාක්ෂියකි. මෙතෙක් මෙරට මේසපන්දු ඉතිහාසය තුළ, ඕනෑම වයස් කාණ්ඩයක ක්‍රීඩකයකු ලබාගත් ඉහළම ලෝක ශ්‍රේණිගත ස්ථානය මෙය වීම විශේෂත්වයකි. මීට අමතරව, ටාවි ලෝක ශ්‍රේණිගතකිරීම්හි වයස අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ 11 වැනි ස්ථානයටද හිමිකම් කියයි. 

ටාවි විසින් දිනාගත් ලෝකඩ පදක්කම් චෙක් ජනරජයේදී, ජර්මනියේදී, ස්ලෝවැකියාවේදී සහ වෙනිසියුලාවේදී පැවති තරගාවලින්හිදීය. රිදී පදක්කම් පිලිපීනය, කොසෝවෝ, නොර්වේ, ඉන්දියාව සහ ස්වීඩනය යන රටවල පැවති ජාත්‍යන්තර යොවුන් මේසපන්දු තරගාවලින්හිදී දිනාගෙන ඇත. ඔහුගේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම පසුගිය දෙසැම්බර් මස ඉතාලියේ ලිග්නෝනෝ නුවරදී පැවති තරගාවලියේදී දිනා ගැනීමට ඔහු සමත් විය. 

එම තරගාවලියේදී ඔහු පළමු හා දෙවැනි වටවලදී ඉතාලි ක්‍රීඩකයන් පරාජය කළ අතර, අවසන් පූර්ව වටයේදී පෝලන්ත ක්‍රීඩකයකු සහ අවසන් මහ තරගයේදී මැලේසියානු ක්‍රීඩකයකු පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්තේය. මෙම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ මේසපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුභවාදී බලාපොරොත්තු ඇති කරයි.