බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී පැවති වයස 17 න් පහළ දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම විය. ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ඕවර 45.5 ක් අවසානයේ කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. අතිශය ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ හිරුණ් මතීෂ නොදැවී ලකුණු 80 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. ඔහුට අගනා සහයක් දුන් අරෝෂ සිතුමිණ ලකුණු 50 ක් රැස්කළේය. පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ වයස 17 න් පහළ කණ්ඩායම ඕවර 46.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 194 ක් ලබාගත් අතර, ජරීෆ් සියාම් ලකුණු 52 ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා පන්දු යැවීමෙන් හිමරු දේෂාන් සහ මිනුග නෙත්සර කඩුලු 3 බැගින් ද, මනිත රාජපක්ෂ කඩුලු 2 ක් ද දවා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූහ. මෙම ප්‍රතිඵලයත් සමඟ තරගාවලිය දැන් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, තීරණාත්මක තෙවැනි තරගය සඳහා සියලු දෙනාගේ අවධානය යොමුවී ඇත.
