වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ලෝකයේ අවුරුදු 13න් පහළ වයස් කාණ්ඩයට අයත් චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව පළමු ස්ථානයට පත්ව ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දී ඇත. ලෝක චෙස් සම්මේලනය විසින් පසුගියදා නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව ඇය ලකුණු 2272ක් ලබා ගනිමින් මෙම සුවිශේෂී දක්ෂතාව ප්‍රදර්ශනය කර තිබේ. තවද, තමන්ට වඩා වයස්ගත ක්‍රීඩිකාවන් ද අයත්වන ලොව අවුරුදු 20න් පහළ චෙස් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම අනුව 42 වැනි ස්ථානය හිමිකර ගැනීම ද දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධනගේ ජයග්‍රහණයේ විශේෂත්වයකි. චෙස් ක්‍රීඩාවෙන් මෙවැනි දක්ෂතාවයක් ප්‍රකට කළ ශ්‍රී ලංකාවේ පළමු සහ එකම චෙස් ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්ව සිටී. රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයෙන් චෙස් ක්‍රීඩාවට පිවිසි දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන, 2021 වසරේ සිට අඛණ්ඩව දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකර ගනිමින් මෙම දක්ෂතාව දක්වා පැමිණ ඇත. 2024 වර්ෂයේදී පැවැති ලෝක යොවුන් චෙස් තරගාවලියේදී අවුරුදු 12න් පහළ ඉසව්වේදී රන් පදක්කම දිනාගත් ඇය, ආසියානු මට්ටමේ විවිධ තරගාවලීන්හිදී ද රන් සහ රිදී පදක්කම් රැසක් දිනා ගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දී තිබේ. ශ්‍රී ලංකාවේ ලාබාලතම වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් ක්‍රීඩිකාව සහ ලාබාලතම ජාතික චෙස් ශූරිය ලෙසින් මෙරට චෙස් ක්‍රීඩාවේ වාර්තා රැසකට හිමිකම් කියන දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන, වර්තමානයේදී කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබමින් සිටී. ඇය මෙරට ප්‍රවීණ චෙස් පුහුණුකරුවකු වන අකිල කාවින්ද මහතා යටතේ පුහුණුව ලබන බව ද වාර්තා වේ.