විදෙස් රැකියා වංචා වලින් ශ්‍රී ලාංකිකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙම වැඩසටහන මඟින් විදේශ රැකියා අපේක්ෂිතයින්ට සහ අදාළ පාර්ශ්වයන්ට මිනිස් වෙළෙඳාමට එරෙහි නීති, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධිවිධාන සහ වංචා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ක්‍රියාවලීන් පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීම අපේක්ෂා කෙරේ.
මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ පළමු පියවර ලෙස, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩසටහනට විශාල පිරිසක් සහභාගී වූහ.
විදේශ රැකියා අපේක්ෂිතයින් විවිධ වංචනික ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කර ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති අංශය සහ මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය ඒකාබද්ධව මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. මෙය, මේ වසරේදී කාර්යාංශය විසින් සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ වැඩසටහන ලෙස ද සැලකේ.