මෙවර හජ් වන්දනාව සඳහා බැතිමතුන් ලියාපදිංචි කිරීමේදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇති ක්‍රියාවලිය සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් දැඩි චෝදනා එල්ල වී තිබේ. වාර්තාවන අන්දමට, මේ වසරේ හජ් වන්දනාව සඳහා වෙන්වී ඇත්තේ බැතිමතුන් 3500කට පමණක් වන කෝටාවක් වන නමුත්, දෙපාර්තමේන්තුව විසින් බැතිමතුන් 7000ක් ලියාපදිංචි කර ඇති බවත්, ඔවුන්ගෙන් ආපසු නොගෙවන රුපියල් 5000ක ලියාපදිංචි ගාස්තුවක් අයකරගෙන ඇති බවත් මෙම චෝදනා වලට හේතුවී ඇත.

බැතිමතුන් පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් හජ් වන්දනාවට අවස්ථාව අහිමි වූ 3500කට ආසන්න පිරිසකගෙන් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවයි. සෑම හජ් වන්දනාකරුවෙක්ම මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම සඳහා මෙම ආපසු නොගෙවන ගාස්තුව ගෙවීමට සිදුවේ.

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් මහතා සඳහන් කළේ, ලියාපදිංචි ගාස්තුව වශයෙන් අයකරන රුපියල් 5000 මුදල නැවත නොගෙවන එකක් බවය. කෝටාවට වඩා වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, වන්දනාවට අවස්ථාව හිමිවූ යම් පිරිසකට හදිසියේ හජ් වන්දනාව සඳහා යාමට නොහැකි තත්ත්වයක් උදා වුවහොත්, තවත් පිරිසකට එම අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි. තවද, මේ වසරේ හජ් වන්දනාවේ යාමට නොහැකි වූ පිරිසේ ලියාපදිංචි ගාස්තුව අවශ්‍ය නම් ඊළඟ වසරේ ලියාපදිංචි සඳහා යොදාගත හැකි බවද නවාස් මහතා වැඩිදුරටත් පැවසීය.

හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ, සෑම වසරකම කෝටාවට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි. කෙසේ වෙතත්, වන්දනාව අහිමි වූ පුද්ගලයන්ගෙන් කොපමණ මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් අයකරගෙන ඇත්දැයි සොයාබලා, ඔවුන්ට සාධාරණය ඉටුකරන බවටද සභාපති මිහ්ලාර් මහතා පොරොන්දු විය.