ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද 'ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ' සමාරම්භය අද (04) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය. ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීමෙන් මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කෙරිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෑතකාලීන ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම පූජනීය ධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමට කටයුතු සූදානම් කෙරිණි.
මෙම සර්වඥ ධාතූන් වහන්සේ සොයා ගනු ලැබුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට්හි අරවල්ලි දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික දෙව්නි මෝරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ 1960 දශකයේදී සිදුකල කැණීමකදීය. බෞද්ධ ආරාම සංකීර්ණයක ස්තූපයක් ආශ්‍රිතව හමු වූ ධාතු කරඬු දෙකකින් එක් ධාතු කරඬුවක තිබී මෙම පූජනීය ධාතූන් වහන්සේ හමු වී ඇත. එහි තිබී හමු වූ මංජුසාවේ සටහන්ව තිබූ 'දස බලධාරී බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ ස්ථානය' යන වැකිය මෙම ධාතුන් වහන්සේගේ පූජනීයත්වය තහවුරු කරන ප්‍රබලතම සාක්ෂියක් ලෙස සැලකේ. ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ ඉතා සුරක්ෂිතව තැන්පත් කර තිබූ මෙම සර්වඥ ධාතූන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, ශ්‍රී ලාංකික ජනතාවට එය සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව ප්‍රථමවරට උදා වී ඇත.
අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් වැඩම කරවීමෙන් අනතුරුව, විශේෂ පීඨිකාවක තැන්පත් කර ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු, විශේෂ රථ පෙරහැරකින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී.
ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ විහාරස්ථානයේ විශේෂ පිඨිකාවක තැන්පත් කරන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මහජනතාවගේ වන්දනාමාන සඳහා නිරාවරණය කෙරිණි. හෙට (05) උදෑසන සිට පෙබරවාරි 11 වන දා දක්වා දින හතක කාලයක් පුරා පැය 24 පුරාම ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම පූජනීය ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී තිබේ.
මෙම සුවිශේෂී අවස්ථාව ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන සංකේතයක් ලෙස සැලකේ. ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා වෙත ජනාධිපතිවරයා අතින් විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදු විය. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නා හිමි විසින් ජනාධිපතිවරයා වෙත ගංගාරාම විහාරස්ථානයේ සීමා මාලකයේ අනුරුව සහිත විශේෂ සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය, ඉන්දියාවේ සිට වැඩම කරවන ලද මහා සංඝරත්නය සහ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ මහතා ඇතුළු ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයෝද මෙම ඓතිහාසික අවස්ථාවට එක්ව සිටියහ.