දූෂණයෙන් තොර පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සමෘද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීමට නොහැකි විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, මේ වන විට ජාතිවාදය සිය එකම සටන් පාඨය බවට පත්කරගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
උතුරේ හෝ දකුණේ කිසිදු ප්‍රදේශයක යළි ජාතිවාදයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලිව ප්‍රකාශ කළේය. රටක විශාලතම ශක්තිය වන්නේ එකමුතුකම බවත්, රටේ ප්‍රධානතම ශක්තිය ඇත්තේ සියලු ජන කොටස් එක්වන තැන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. සියලුදෙනා එක්වීමෙන් පමණක් ශක්තිමත් ලෙස රට ගොඩනැගිය හැකි බව එතුමා වැඩිදුරටත් කියා සිටියේය.
අතීත උරුමයන් මත පදනම් වෙමින්, නව ලෝකයට ගැලපෙන ආර්ථික පරිවර්තනයක් සඳහා රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ප්‍රකාශයන් සිදු කළේ, දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේය. අද (06) පස්වරුවේ නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී පැවති ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීමේ අවස්ථාවට එතුමා එක් විය. මෙම අවස්ථාවේදී නව නිවසක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහනටද ජනාධිපතිවරයා සහභාගී විය. තුම්පනේ, හාරිස්පත්තුව, හතරලියද්ද, පූජාපිටිය, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පවුල් 146ක් වෙනුවෙන් මෙම ප්‍රතිලාභ පිරිනැමිණි.