අද (04) දහවල් බදුල්ල නගරයේ පිහිටි ආපනශාලාවක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, දුම් ආඝ්‍රාණය වීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට පත් වූ සේවකයන් සිව්දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ගින්න හටගන්නා අවස්ථාවේදී ආපනශාලාවේ ඉහළ මහලේ සේවය කරමින් සිටි සේවකයන් සිව්දෙනෙකු බව බදුල්ල පොලීසිය සඳහන් කරයි. ඔවුන් මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.ගින්න හටගැනීමත් සමඟම බදුල්ල පොලීසිය සහ බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී ඇත.
ගිනි නිවීමේ රථ සහ ජල බවුසර් යොදා ගනිමින්, ගින්න අවට වෙළෙඳසැල්වලට පැතිර යාම වළක්වා ගනිමින් සාර්ථකව නිවා දැමීමට ඔවුන් සමත් වී තිබේ.කෙසේ වෙතත්, රෝහල් ගතකළ සේවකයන් සිව්දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බවත්, ඔවුන්ගේ ජීවිතයට අවදානමක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.