පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ, ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්නේ නම්, තමන්ගේ මව, පියා, සහ පවුම් අනූවේ මාලේ දාගෙන සිටින බල්ලා වුවද ගෙනත් දීමට සූදානම් බවයි.
නාමල් රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි. ඔහු සඳහන් කළේ, මෙවැනි කැඳවීම් මගින් තමන්ව බිය ගන්වා නිහඬ කළ නොහැකි බවත්, තමන් මේවාට කට වහගෙන නොසිටින බවත්ය. එහිදී මන්ත්‍රීවරයා ආණ්ඩුවට යෝජනා කළේ, ගල් අඟුරු මගඩිය, පාසලේ 6 වසරේ දරුවන්ගේ මනස විකෘති කිරීමට ආණ්ඩුව දරන උත්සාහයන් මෙන්ම, උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ඔවුන් පාරට ඇද දැමීම වැනි කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට පොලිසිය පාවිච්චි කරන බවයි. තවද, නාමල් රාජපක්ෂ හිර කූඩුවේ දමන්නේද නැද්ද යන්න පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ කතා ඇසීමෙන් තේරුම් ගත හැකි බවද ඔහු පැහැදිලි කළේය.