පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ සහ රතිදු සේනාරත්න නොහොත් රැට්ටා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (2) වරෙන්තු නිකුත් කරමින් කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කර ඇත. 

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම්කර සිටි හිටපු අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී, ඔවුන්ට ඇප නොදෙන ලෙස ඉල්ලමින් කොටුව අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කළ බවට මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය සිදු කර ඇත.එමෙන්ම, සැකකරුවන්ගේ ඇපකරුවන්ට නොතීසි නිකුත් කිරීමටද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇති අතර, නඩුව වැඩිදුර විභාගය සඳහා කල් තබා තිබේ.