කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා විසින්, නිවසේ සේවිකාවක් අපයෝජනය කර එම වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ප්‍රසිද්ධ ව්‍යාපාරික මොහොමඩ් කමර්ඩීන් සස්මි ඇතුළු තිදෙනෙකුට අද (02) ඇප නියම කර තිබේ. මෙම සිදුවීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබූ මොහොමඩ් රසීඩ් සහ මොහොමඩ් හනිපා යන සැකකරුවන්ද ඇප මත මුදා හැරිණි.
සැකකරුවන්ට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට අවවාද කළේය. තවද, සෑම මසකම අවසන් ඉරු දින ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පෙනී සිටින ලෙසටත්, විදෙස් ගමන් තහනම් කිරීමටත් නියෝග කර ඇත.
මෙම විමර්ශනය ආරම්භ වූයේ, සැකකාර ව්‍යාපාරිකයා තම දරුවන් බලාගත් සේවිකාවට මරණීය තර්ජන කර, අමානුෂික ලිංගික හිංසන සිදුකර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙනි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දන්වා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. කෙසේ වෙතත්, සැකකරුගේ නීතිඥයන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සිද්ධිය ඔක්තෝබර් මාසයේ සිදුවී ඇති අතර, පැමිණිල්ලෙන් ප්‍රකාශ සටහන් කර ඇත්තේ මාස දෙකකට පසුව බවයි.
එමෙන්ම, ප්‍රධාන සැකකරු මුල්ලේරියාව රෝහලින් මානසික ප්‍රතිකාර ලබන අයකු බවත්, කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියකු වන ඔහුගේ මානසික තත්ත්වය සහ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ඇප ප්‍රදානය කරන ලෙසත් නීතිඥවරුන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අවසානයේ සැකකරුවන්ට ඇප නියම කළේය.
පොලීසියට ලබන මාර්තු 16 වැනිදාට පෙර විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර ඇත. මෙම විමර්ශන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් පරිදි සිදු කෙරේ.