පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 169 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. මෙම ඛේදවාචකය සිදුවූයේ සිකුරාදා දින දේව මෙහෙය පැවැත්වෙමින් තිබූ අවස්ථාවකය.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉස්ලාමාබාද් හි ෂෙහ්සාද් ටවුන් ප්‍රදේශයේ පිහිටි ටර්ලායි ඉමාම්බර්ගා ෂියා මුස්ලිම් පල්ලියටය. පාකිස්තාන ආරක්ෂක අංශ පවසන පරිදි, බෝම්බකරු පල්ලිය ඇතුළට පැමිණ, සිකුරාදා දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝම්බය පුපුරුවාගෙන ඇත. 'ද ටයිම්ස් ඔෆ් ඉස්ලාමාබාද්' පුවත්පත වාර්තා කළේ, බෝම්බකරු පල්ලියට ඇතුළු වීමට සූදානම් වෙද්දී, ඔහු ගැන සැක සිතූ පල්ලියේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඔහු සෝදිසි කිරීමට තැත් කළ අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත් බවයි.
තුවාල ලැබූවන් කඩිනමින් ප්‍රදේශයේ රෝහල් වෙත යොමු කර තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැත. කෙසේ වෙතත්, මෙය ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර පවතින විරසකයේ ප්‍රතිඵලයක් විය හැකි බවට සැක පළ වේ.
ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වුණු මෙම ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් විසින් දැඩි ලෙස හෙළා දකින ලදී. ඔහු විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්, මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.