ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවය සඳහා නව කාන්තා කොන්දොස්තරවරියන් 20 දෙනකුට පත්වීම් ප්‍රදානය අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී සිදු කෙරිණි. මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සනිටුහන් කරමින්, නවක කොන්දොස්තරවරියන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නව නිල ඇඳුමක්ද මෙහිදී හඳුන්වා දෙනු ලැබීය.

මෙම වැදගත් අවස්ථාව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සමන්මලී ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම, පත්වීම් ලද නවක කොන්දොස්තරවරියන්ගේ මවුපියන් ඇතුළු සමීපතම ඥාතීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම පත්වීම් ප්‍රදානය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තුළ කාන්තා දායකත්වය පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකෙන අතර, එය සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ කාන්තාවන්ට නව රැකියා අවස්ථා උදා කිරීමටද පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.