ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඉන්දීය ජනරජ දිනයට සහභාගිවීමට ඉන්දියාවට පිටත්ව ගොස් සිටියදී අද (ජනවාරි 26) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත. 

පෙරවරු 9.30ට පෙනී සිටින ලෙසට කෙරුණු මෙම දැනුම්දීම, පෙරවරු 9.50ට තංගල්ල කාල්ටන් නිවසට පොලිසිය විසින් සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. වරායට අදාළ විරෝධතාවක් සම්බන්ධයෙන් හම්බන්තොට අධිකරණයේ විභාග වන නඩුවක් හේතුවෙන්, අධිකරණය සහ පොලිසිය දැනුවත් කර නාමල් රාජපක්‍ෂ මහතා ඉන්දියාවට පිටත්ව ගිය බව කාරියවසම් මහතා සඳහන් කළේය. වත්මන් පොලිසිය ශ්‍රී ලංකා පොලිසිය නොව, ජනතාව විමුක්ති පෙරමුණේ පොලිසියක් බවත්, මෙවැනි දේශපාලන අරමුණු සහිත ක්‍රියාවන්ගෙන් වළකින ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම සිදුවීම පිටුපස දේශපාලන අරමුණක් ඇති බව පැහැදිලි බවද කාරියවසම් මහතා අවධාරණය කළේය.