ලොව විශාලතම විදුලි මෝටර් රථ (EV) අලෙවිකරුවා ලෙස ඉලොන් මස්ක්ගේ ටෙස්ලා සමාගම කලක් තිස්සේ දැරූ ස්ථානය අභිබවා යමින්, චීනයේ BYD සමාගම ඉදිරියට පැමිණ තිබේ. වාර්ෂික අලෙවිය අතින් BYD සමාගම ටෙස්ලා සමාගම අභිබවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේදී BYD සමාගමේ බැටරි මගින් ක්‍රියා කරන මෝටර් රථ අලෙවිය 28% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, එය ඒකක මිලියන 2.25 කට වඩා වැඩිය. මේ අතර, ටෙස්ලා සමාගම 2025 වසරේදී අලෙවි කර ඇතැයි පැවසෙන රථ සංඛ්‍යාව මිලියන 1.65 ක් පමණි. ටෙස්ලා සමාගම ඊයේ දින සිය 2025 වසරේ අලෙවිය පිළිබඳ ප්‍රකාශයට පත් නොකළ ද, ක්ෂේත්‍රයේ විශ්ලේෂකයන් විසින් ටෙස්ලා අලෙවි වාර්තා පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇත.
ටෙස්ලා සමාගමට මෙම අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමට සිදු වූයේ නව මෝටර් රථ මාදිලි සඳහා ලැබුණු මිශ්‍ර ප්‍රතිචාර, ඉලොන් මස්ක්ගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ ඇති වූ නොසන්සුන්තාව සහ චීන ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ දැඩි තරඟකාරිත්වය වැනි හේතු නිසාය. විශේෂයෙන්ම, මස්ක් ඇමරිකාවේ 'රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ' (Doge) කටයුතුවල නිරත වීම නිසා ඔහු ටෙස්ලා සමාගම කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ආයෝජකයින් චෝදනා කර තිබේ. අලෙවිය වැඩි කර ගැනීම සඳහා ටෙස්ලා සමාගම ඔක්තෝබර් මාසයේදී සිය ජනප්‍රිය මෝටර් රථ මාදිලි දෙකක මිල අඩු කිරීමට පියවර ගත්ත ද, BYD සමාගමේ මිල ගණන් බොහෝ විට අනෙකුත් සමාගම්වලට වඩා අඩු මට්ටමක පවතී.
BYD සමාගමේ ගෝලීය වර්ධනය ඉහළ යමින් පවතින්නේ ඉතා සීඝ්‍රයෙනි. චීනයෙන් පිටත BYD සමාගමේ විශාලතම වෙළඳපොළ බවට එක්සත් රාජධානිය පත්ව ඇති අතර, එහි අලෙවිය සැප්තැම්බර් මස අවසානය වන විට 880% කින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා 'Seal U' නම් plug-in hybrid SUV රථය සඳහා වූ ඉහළ ඉල්ලුම බෙහෙවින් බලපා ඇත. BYD සමාගම ලතින් ඇමරිකාව, අග්නිදිග ආසියාව සහ යුරෝපයේ කොටස් වෙත වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. කෙසේ වෙතත්, එම සමාගම ද චීනය තුළ XPeng සහ Nio වැනි අනෙකුත් විදුලි මෝටර් රථ නිෂ්පාදකයින්ගෙන් දැඩි තරඟයකට මුහුණ දී සිටී.