දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණින්, යම්කිසි වයස් සීමාවකට සමාජ මාධ්‍ය භාවිතය මෙරට තුළ තහනම් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් දැනටමත් වයස අවුරුදු 15 සහ 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
ප්‍රධාන වශයෙන් දරුවන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණ ගෙන ඇති අතර, තාක්ෂණය අවභාවිතා වීමෙන් දරුවන්ගේ සිතුම් පැතුම් වල විශාල වෙනසක් සිදුව ඇති බව ද ඔහු සඳහන් කළේය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන අවස්ථාවේදී මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන ලෙස දිසානායක මහතා රජයෙන් ඉල්ලා සිටින අතර, මෙම යෝජනාව වැඩිහිටියන්ට අදාළ නොවන බව ද අවධාරණය කළේය. මේ අතර, එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමට හෝ ආණ්ඩුව පෙරලීමට විපක්ෂයට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසත්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.