ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කිරීම සහ නැවත වන වගා කිරීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අවිධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ ප්‍රමාණවත් නඩත්තු නොකිරීම් ඊට ප්‍රධාන හේතු වී ඇති බවත්ය. මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක සහ අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මෙම කටයුතු කඩිනමින් සිදු කරන ලෙසයි. එමෙන්ම, මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ, මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බවට ප්‍රතිඥා දුන්හ.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රධානී Cholpon Mambetova, එහි ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම සහ ස්වභාවික සම්පත් විශේෂඥ Sumith Pokhrel, සහකාර ව්‍යාපෘති නිලධාරී ක්‍රිෂාන්ති දාබරේ යන මහත්ම මහත්මීහුද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත Azusa Kubota සහ එම වැඩසටහන නියෝජනය කරමින් වගීෂා ගුණසේකර, සුගන්ධි සමරසිංහ යන මහත්ම මහත්මීහුද, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරිහු සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.