ඉරාන අර්බුදය දිනෙන් දින උග්‍ර වෙද්දී, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඇමෙරිකාව ඉරානයට හමුදා ප්‍රහාර එල්ල කළහොත් තමන් නිහඬව නොසිටින බව පුටින් අවධාරණය කළා.
තෙහෙරානයේ විරෝධතාකරුවන් දිරිගැන්වීමට ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග රුසියාව කිසිසේත් අනුමත කරන්නේ නැහැ. මෙම ක්‍රියාකලාපය මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වයක් ඇති කර ඇති බවත්, එය ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් බවත් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසනවා. ඉරානය දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටිනවා. අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂක අංශ යොදවා ඇති අතර, අන්තර්ජාලය සීමා කර තිබෙනවා.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විරෝධතා උසිගන්වන බව ඉරානය චෝදනා කරන අතර, ඊශ්‍රායල 'ත්‍රස්ත' කණ්ඩායම් සාමාජිකයන් අත්අඩංගුවට ගත් බවද පවසනවා. ඉරාන රියාල් මුදල කඩාවැටීම, ඉහළ යන ආහාර සහ ඉන්ධන මිල, දැඩි ඇඳුම් පැළඳුම් නීති මෙන්ම ස්වභාවික වායු සහ විදුලි හිඟය ජනතා කෝපයට හේතුවී තිබෙනවා. මානව හිමිකම් සංවිධාන පවසන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් දෙදහසකට අධික පිරිසක් මියගොස් ඇති බවයි.
ඇතැම් වාර්තා අනුව මෙම සංඛ්‍යාව දොළොස් දහස ඉක්මවා යා හැකි බව සඳහන්. ට්‍රම්ප් විරෝධතාකරුවන්ට පණිවිඩයක් නිකුත් කරමින්, ඔවුන් දේශප්‍රේමීන් ලෙස හඳුන්වමින්, ඇමෙරිකාව ඔවුන්ට උදව් කරන බව ප්‍රකාශ කළා. විරෝධතාකරුවන් ඝාතනය නතර කරන තුරු ඉරාන නිලධාරීන් සමඟ සාකච්ඡා අත්හිටුවන බවද ඔහු පැවසුවා. ඉරානය සමඟ ගනුදෙනු කරන ඕනෑම රටකට ඇමෙරිකාව සියයට විසිපහක අමතර තීරු බද්දක් පනවන බවට ට්‍රම්ප් තීරණාත්මක ප්‍රකාශයක් කර තිබෙනවා. මෙය චීනය, ඉන්දියාව සහ තුර්කිය වැනි රටවලට සෘජුවම බලපාන අතර, ඉරානය තවදුරටත් හුදකලා කිරීම මෙහි අරමුණයි.