එක්සත් ජනපද හමුදාව විසින් නව උපාය මාර්ගික ලේඛනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා නිකුත් වූ මෙම පෙන්ටගන ලේඛනයට අනුව, එක්සත් ජනපදය සිය නිජබිම ආරක්ෂා කිරීමට සහ චීනය වැළැක්වීමට ප්‍රමුඛත්වය ලබාදෙයි. කෙසේ වෙතත්, යුරෝපයේ සහ අනෙකුත් ප්‍රදේශවල සිටින මිත්‍ර පාක්ෂිකයින්ට ලබා දෙන සහයෝගය සීමා කිරීමට මෙයින් යෝජනා වී තිබීම විශේෂත්වයකි.
2026 ජාතික ආරක්ෂක උපායමාර්ගය ලෙස හැඳින්වෙන මෙම ලේඛනය, පෙන්ටගනයේ පෙර ප්‍රතිපත්තිවලින් සැලකිය යුතු ලෙස බැහැරවීමක් සනිටුහන් කරයි. වොෂින්ටනයේ මිත්‍ර පාක්ෂිකයින් කෙරෙහි දක්වන සහයෝගය අඩු කිරීම සහ සාම්ප්‍රදායික සතුරන් ලෙස සැලකෙන චීනය හා රුසියාව කෙරෙහි මෘදු ස්ථාවරයක් ගැනීම මෙම නව උපාය මාර්ගයේ ප්‍රධාන ලක්ෂණයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පූර්වගාමී උපාය මාර්ගික වාර්තාවේ චීනය ප්‍රධාන අභියෝගය ලෙසත්, රුසියාව උග්‍ර තර්ජනයක් ලෙසත් විස්තර කර තිබුණි. එහෙත් නව ලේඛනය චීනය සමඟ ගෞරවනීය සබඳතා යෝජනා කරන අතර, චීනය තම භූමිය ලෙස සලකන එක්සත් ජනපද මිත්‍ර තායිවානය ගැන කිසිදු සඳහනක් සිදුකර නොමැත. රුසියාවෙන් එල්ල වන තර්ජනය නේටෝවේ නැගෙනහිර සාමාජිකයින්ට බලපෑවත් එය කළමනාකරණය කළ හැකි තත්ත්වයක් ලෙස මෙහි විස්තර කෙරේ. මෙම නව පෙන්ටගන උපාය මාර්ගය, ලෝක බල තුලනයට හා ජාත්‍යන්තර සබඳතාවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.