අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීති සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය මගින් විශේෂයෙන්ම B1 සහ B2 (Visitor Visa) වීසා කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත වීම සම්බන්ධයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
තානාපති කාර්යාලය පැහැදිලි කරන්නේ, මෙම වීසා කාණ්ඩය යටතේ ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම, ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, වෘත්තීය සමුළුවලට සහභාගී වීම සහ සංචාරක කටයුතුවලට පමණක් අවසර ලැබෙන බවයි. අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට මෙම වීසා මගින් අවසර නොමැති බව තානාපති කාර්යාලය අවධාරණය කරයි. 'සේවය කිරීම' සඳහා අවසර නොමැති බව ඔවුන්ගේ ප්‍රධාන අවධාරණයයි.
යම් හෙයකින් සංචාරක වීසා මගින් ඇතුළු වී අනවසරයෙන් රැකියාවල නිරත වුවහොත් ගත හැකි දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව ද තානාපති කාර්යාලය දැනුම් දී තිබේ. එසේ සිදුකළ අදාළ පුද්ගලයින් වහාම ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව සඳහන් වේ. එසේම, ඔවුන්ට නැවත කිසිදු දිනක අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි ස්ථිර වීසා තහනමකට (Permanent Ban) ලක්වීමට ඉඩ ඇති බවද තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියි.
අමෙරිකාවට ඇතුළු වීමට පෙර තමන් ලබාගෙන ඇති වීසා වර්ගය සහ ඒ යටතේ කළ හැකි සහ නොහැකි දෑ පිළිබඳව මනාව දැනුවත් වන ලෙස කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සංචාරකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.