රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8 සිට යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. වෛද්‍යවරුන් අද සිට රාජකාරී සඳහා වාර්තා කළත්, බාහිර මිලදී ගැනීම් සඳහා ඖෂධ නියම කිරීම සහ බාහිර රසායනාගාර පරීක්ෂණ නිර්දේශ කිරීම ඇතුළු සේවා 5 කින් ඉවත්වීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
පසුගිය සිකුරාදා සිට පැය 48 ක සංකේත වැඩවර්ජනයක ද ඔවුන් නිරත වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සේවය නමින් සුවිශේෂී සේවා ඛාණ්ඩයක් පිහිටුවීම, ප්‍රවාහන දීමනා යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට අනුව ප්‍රවාහන ගැටලු විසඳීම, අමතර රාජකාරී දීමනාව ස්ථාවර කිරීම සහ පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්. පෙර පැවති වර්ජනය හේතුවෙන් රජයේ රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි පීඩාවකට පත් වූ අතර, සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම නව ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට වෛද්‍ය සංගමය තීරණය කර තිබෙනවා.