ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව මුහුණ දෙන බරපතල අභියෝගයක් පිළිබඳව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය අනතුරු අඟවයි. වයස 10 ත් 24 ත් අතර තරුණයින්ගෙන් සියයට 39 ක්ම මානසික අවපීඩනයෙන් පෙළෙන බව අධ්‍යක්‍ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම මහතා අද මුල්ලේරියාවේදී පැවසීය. මෙය ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන මහජන සෞඛ්‍ය ගැටලුවකි. 

සමස්ත ජනගහනයෙන් සියයට 13 ක් පමණ මානසික සෞඛ්‍ය පීඩාවන්ගෙන් පෙළෙන අතර, ඉන් සියයට 3 ක් දෛනික කටයුතුවලට බාධා ඇති කරන දැඩි ආබාධවලට මුහුණ දෙති. ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් අවපීඩනයෙන් පෙළෙන බවත්, සියදිවි නසාගැනීම් ගෝලීය මෙන්ම ජාතික වශයෙන්ද ප්‍රධාන ගැටලුවක් බවත් වෛද්‍ය අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. 

ලොව පුරා වාර්ෂිකව සියදිවි නසාගැනීම් ලක්ෂ 7 ක් වාර්තා වන අතර, 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් පමණක් ලක්ෂයක් වාර්තා වී තිබේ. තනිකම, අඛණ්ඩ මානසික අවපීඩනය, සියදිවි නසාගැනීමට සිතීම සහ විශේෂයෙන් ගැහැණු ළමුන් අතර සියදිවි නසාගැනීමේ උත්සාහයන් මෙයට ප්‍රධාන හේතු වේ. මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, ඉක්මන් හඳුනාගැනීම සහ පහසු ප්‍රතිකාර මාර්ග අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, විශේෂිත රෝහල් වැඩිදියුණු කිරීම, ප්‍රජා මූලික සත්කාර සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්ට මානසික සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාව මේ වන විටත් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද වෛද්‍ය අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.