ශ්‍රී ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ඉතිහාසයේ ප්‍රථම වතාවට නළ දරු පරීක්ෂණ හෙවත් IVF ප්‍රතිකාර ක්‍රමය හඳුන්වා දීමට කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල සූදානම් වේ. මේ වන තුරු පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වී තිබූ මෙම අති නවීන වෛද්‍ය පහසුකම, දැන් සාමාන්‍ය ජනතාවටද සමීප වනු ඇත.
කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් කුමාර දන්තනාරායන මහතා සඳහන් කළේ, ඉදිරි මාස තුන ඇතුළත මෙම නව මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. මෙම ප්‍රතිකාර ක්‍රමයේදී ශරීරයෙන් බැහැරව රසායනාගාරයක් තුළදී ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් සංසේචනය කර, පසුව එය ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදු කෙරේ. පැලෝපීය නාල අවහිරතා, ශුක්‍රාණු මදිකම සහ හෝර්මෝන ගැටලු ඇතුළු වඳභාවය පිළිබඳ ගැටලු ඇති අඹුසැමියන්ට මෙය ඉතා සාර්ථක විසඳුමක් බවට පත්වනු ඇත. වර්තමානයේ වර්ධනය වන වඳභාවය හමුවේ, රජයේ සෞඛ්‍ය සේවාව හරහා මෙවැනි උසස් තාක්ෂණික ප්‍රතිකාර ලබා දීම ජාතික අවශ්‍යතාවක් බව අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.