ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය පියවර ගත යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ. රුසියාව හෝ චීනය අනාගතයේදී එම දූපත අත්පත් කර ගැනීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔහු අවධාරණය කළේය. මෙම ප්‍රකාශය යුරෝපා රටවල් රැසක දැඩි විරෝධයට ලක්ව ඇත.
ට්‍රම්ප් මහතා මෙම අදහස් පළ කර ඇත්තේ ධවල මන්දිරයේදී තෙල් සමාගම් විධායක නිලධාරීන් හමුවූ අවස්ථාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ග්‍රීන්ලන්තය දැනට ඩෙන්මාර්ක රාජධානියට අයත් ස්වයං පාලන ප්‍රදේශයක් වන අතර, එහි ජනගහනය 57,000ක් පමණ වේ. 1951 ගිවිසුමක් යටතේ ඇමරිකානු හමුදා දැනටමත් එහි රැඳී සිටියද, එවැනි ගිවිසුම් පමණක් දූපතේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
“අපි ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යමක් කරනවා. මොකද අපි එහෙම නොකළොත් රුසියාව හෝ චීනය එය අත්පත් කරගන්නවා. රුසියාව හෝ චීනය අපේ අසල්වැසියන් වෙනවාට අපි කැමති නැහැ. ඔබ ආරක්ෂා කළ යුත්තේ අයිතිය මිස බදු පදනම මත ලබාගත් ගිවිසුම් නෙවෙයි,” යනුවෙන් ට්‍රම්ප් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට ඩෙන්මාර්කය ඇතුළු ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන යුරෝපා රටවල් දැඩි විරෝධයක් පළ කර තිබේ. මෙම රටවල් ඩෙන්මාර්කය සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්තයට සහ ඩෙන්මාර්කයට පමණක් බවයි.