ග්‍රීන්ලන්තය ට එරෙහිව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවීමට යෝජනා කළ නව තීරු බද්දට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා නායකයින් ආර්ථිකමය අවියකින් ඇමෙරිකාවට පහර දීමට සලකා බලමින් සිටින බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි. මෙමගින් ගෝලීය වෙළඳපොළ තුළ නව ආතතියක් ඇති වී තිබේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ග්‍රීන්ලන්තය පිළිබඳ විරෝධය දක්වන රටවල් අතර දිනෙන් දින වර්ධනය වන අර්බුදය, නේටෝ සංවිධානයේ අනාගතය පවා අවදානමට ලක් කර ඇති බව එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය. "බිග් බසූකා" ලෙස හැඳින්වෙන මෙම ආර්ථික අවිය, දේශපාලන තර්ජන හා බිය වැද්දීම්වලට මුහුණදීම සඳහා 2023 වසරේදී යුරෝපා සංගමය විසින් හඳුන්වා දෙනු ලැබූ මෙවලමකි.මෙම "බිග් බසූකා" මෙවලම ඇමෙරිකාවට එරෙහිව ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය තීරණය කළහොත්, ඉන් යුරෝපා රටවලදී ඇමෙරිකාවට සමුහිකව ඇමෙරිකානු ඩොලර් කෝටි 10,824 ක පමණ බද්දක් පැනවෙනු ඇත. 

එමගින් යම් පාර්ශ්වයකට රජයේ ටෙන්ඩර්වලට ලංසු තැබීම සහ වෙළඳ බලපත්‍ර ලබා ගැනීම සීමා කිරීම මෙන්ම වෙළඳපොළවල්වලට ප්‍රවේශය අවහිර කිරීමද සිදුකළ හැකිය.මේ අතර, එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පසුගියදා රාත්‍රියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතනයෙන් මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කර ඇති බවත්, එහිදී ග්‍රීන්ලන්තයේ මිතුරන්ට එරෙහිව පනවා ඇති තීරු බද්ද අසාධාරණ බව ස්ටාර්මර් ට්‍රම්ප්ට පවසා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 

කෙසේ වෙතත්, ධවල මන්දිරය සිය තීරණය වෙනස් කරන බවක් පෙනෙන්නට නොමැති බවද පැවැසෙයි.ඇමෙරිකාවට එරෙහිව "බිග් බසූකා" මෙවලම භාවිත කිරීමට යුරෝපා රටවල් තීරණය කළහොත් ඉන් වැඩියෙන්ම සතුටු වන්නේ බටහිර විරෝධී රටවල් බවද එම වෙබ් අඩවිය වාර්තා කළේය. මෙය ගෝලීය දේශපාලනයේ බල තුලනය කෙරෙහිද බලපානු ඇත.මීට පෙර, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් කර ගන්නවාට විරුද්ධ වන රටවල් 8 ක් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන 1 වැනිදා සිට සියයට 10 ක අමතර තීරු බද්දක් පනවන බවත්, ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ප්‍රාන්තයක් වනතෙක් එම තීරු බද්ද ක්‍රියාත්මක වනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

යුරෝපා රටවල් ග්‍රීන්ලන්තය පිළිබඳව දරණ ස්ථාවරය වෙනස්කර නොගතහොත්, මුල් අවස්ථාවේදී සියයට 10 ක් වන තීරු බද්ද, පසුව සියයට 25 දක්වා වැඩි කෙරෙනු ඇතැයිද ඇමෙරිකානු ජනපතිවරයා පැවැසුවේය. ඒ අනුව, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල් ඇමෙරිකාවට අපනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10 ක තීරු බද්දක් එළැඹෙන 1 වැනිදා සිට පැනවෙනු ඇති අතර, එය එළැඹෙන ජූනි 1 වැනිදා සිට සියයට 25 ක් දක්වා වැඩිවනු ඇති බවට ජනපති ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කළේය.