අද (05) උදෑසන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සහ ඊසානදිග අනෙකුත් ප්‍රදේශවලට රිච්ටර් මාපකයේ 5.1 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම භූ කම්පනය අලුයම 4:17 ට පමණ සිදුව ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාව අතර සුළු භීතියක් ඇතිවී තිබේ.

ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (NCS) පවසා ඇත්තේ, භූමිකම්පාවේ කේන්ද්‍රය ඇසෑම්හි මොරිගාඕන් දිස්ත්‍රික්කය අසලින් වාර්තා වූ බවත්, එය කිලෝමීටර 50ක ගැඹුරකින් පැවති බවත්ය. ඊසානදිග ඉන්දියාව, භූ කම්පන කලාපයක් ලෙස සැලකෙන බැවින් මෙවැනි සිදුවීම් සාමාන්‍ය දෙයකි.

කෙසේ වෙතත්, මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව, මෙම භූමිකම්පාවෙන් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. බලධාරීන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසට උපදෙස් ලබා දී තිබේ.