වසර පහකට පසුව වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමත් සමඟ, පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළදී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1,737 ක් ආනයනය කර ඇති බව ජේ.බී සිකියුරිටීස් තැරැව්කාර සමාගම විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ. මෙම වාහනවලින් බොහොමයක වටිනාකම රුපියල් මිලියන 30 ඉක්මවන බවත්, රුපියල් මිලියන 70කට ආසන්න වාහන පවා මේ අතර තිබූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.  

ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන අතර ෆෙරාරි, රෝල්ස් රොයිස්, පෝෂ් සහ ලැම්බෝගිනි වැනි ලොව සුප්‍රසිද්ධ සන්නාමවලට අයත් වාහන ද තිබේ. මෙම මිල අධික වාහන මිලදී ගත් පාරිභෝගිකයන් ශ්‍රී ලංකා රජයේ ආදායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.  ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පසුගිය නොවැම්බර් මාසයේදී පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 281ක් ලෙස වාර්තා වී ඇත. ඒ අනුව, පසුගිය වසරේ පළමු මාස එකොළහ තුළදී මෙරට සමස්ත වාහන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ ගොස් තිබේ.