කොමර්ෂල් බැංකුව සහ අබාන්ස් පීඑල්සී සමාගම අතර ශක්තිමත් සහයෝගීතාවක්
ගොඩනගමින්, අබාන්ස් හි දේශීය අලෙවිසල් ජාලය සඳහා නවීන POS සහ ඩිජිටල්
ගෙවීම් ක්‍රම විසඳුමක් ආරම්භ කිරීමට නියමිත බව කොමර්ෂල් බැංකුව නිවේදනය
කරයි. මෙමගින් අබාන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් පහසුකම් සහිත
සමාගමක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම විසඳුම මගින් දිවයින පුරා
පිහිටි අබාන්ස් අලෙවිසල් 400කට අධික සංඛ්‍යාවක්, ඕනෑම ජාත්‍යන්තර සහ දේශීය
ප්‍රධාන ගෙවීම් කාඩ්පත් මෙන්ම QR ගෙවීම් ක්‍රම පිළිගත හැකි පරිදි සන්නද්ධ
කරනු ඇත.
නවීන සිල්ලර වෙළෙඳාමට අවශ්‍ය මූල්‍ය ආරක්ෂාව, අන්තර්
ක්‍රියාකාරීත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව ලබාදෙන මෙම විසඳුම, අබාන්ස්
සමාගමේ ව්‍යාපාර සම්පත් සැලසුම්කරණ (ERP) සහ සැපයුම් දාම කළමනාකරණ (SCM)
පද්ධති සමඟ බාධාවකින් තොරව ඒකාබද්ධ වනු ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම ඩිජිටල්
පද්ධතියට වීසා, මාස්ටර්කාඩ්, යුනියන් පේ, ජේසීබී, ලංකා පේ, සහ ලංකා QR ද
ඇතුළත් වන අතර, WeChat Pay, Alipay, UnionPay, වීසා QR සහ මාස්ටර්කාඩ් QR
වැනි ජාත්‍යන්තර QR ගෙවීම් ක්‍රම ද පිළිගැනීමට හැකියාව ඇත. එය බැංකුවේ
අන්තර්ජාල ගෙවීම් ද්වාරය (IPG) ද ඇතුළත් තනි රාමුවක් යටතේ ඒකාබද්ධ වේ.
මෙම
බහුවිධ ක්‍රම හැකියාව මගින්, ගනුදෙනුකරුවන්ට අලෙවිසල තුළදී හෝ, මාර්ගගතව
හෝ ජංගම දුරකථනය හරහා හෝ ගෙවීම් කළ ද, එම ගනුදෙනු ඒකාබද්ධ වූ එක් පද්ධතියක්
හරහා සැකසෙනු ඇත. මෙම විසඳුම කාඩ්පත් හා QR ගෙවීම් සඳහා සහය වනවා පමණක්
නොව, වෙළෙන්දන්ට සහ ගනුදෙනුකරුවන්ට පහසු ගෙවීම් සැලසුම් (EPP) සඳහා ද
පහසුකම් සපයයි. යෙදවීමට නියමිත POS යන්ත්‍ර 2,500ම බහු ක්‍රියාකාරී සහ EMV
සහතික කළ ඒකක වන අතර, ස්පර්ශ රහිත, චිප්, චුම්භක තීරු කාඩ්පත් මෙන්ම QR
පිළිගැනීමට ද සහාය වේ.
කොමර්ෂල් බැංකුවේ මෙවන් විසඳුම් ගෙවීම්
කාඩ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප්‍රමිති (PCI DSS) සමඟ සම්පූර්ණයෙන් අනුකූල
වේ. අඛණ්ඩ තත්‍ය කාලීන අධීක්ෂණය, අවදානම් සලකුණු කිරීම සහ විෂමතා අනතුරු
ඇඟවීම් වංචාවට එරෙහිව ආරක්ෂාව සපයන අතර, හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර
දැක්වීමට කැපවූ කණ්ඩායමක් යොදවා ඇත. කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය, එස්. ගනේෂන් මහතා ප්‍රකාශ කළේ, මෙම
හවුල්කාරීත්වය බැංකුවේ තාක්ෂණික නායකත්වයේ තවත් ප්‍රදර්ශනයක් බවයි. අබාන්ස්
සමූහයේ අධ්‍යක්ෂිකා ආචාර්ය එස්. ඩුබාෂ් මහත්මිය පැවසුවේ, මෙමගින්
ගනුදෙනුකරුවන්ට වේගවත්, ආරක්ෂිත සහ වඩාත් නම්‍යශීලී ගෙවීම් විසඳුම් ලබා දෙන
අතර, මුදල් රහිත ආර්ථිකයක් කරා යන ජාතික මෙහෙයුමට දායකත්වයක් සපයන බවයි.
